Breaking News

අන්තරේ අයියා

"ලෝකෙ හැම කෙනාටම කරන්න නියමිත දේවල් කීපයක් තියනව. තමන්ට නියමිත දේ කරල ඉවර උනාට පස්සෙ ලෝකෙට අපෙන් වැඩක් නැතුව යනව. අන්න ඒ නිසා වැඩිපුර හොද කරන්න යන්න වත් වැඩිපුර නරක කරන්නවත් යන්න එපා. උඹ උඹේ පාඩුවෙ වැඩක් බලන් ඉදපන්"

ලොකු අයියා මා ගමෙන් පිටත් වෙන දිනයට පෙර දින රාත්‍රියේ මාගේ කාමරයට පැමිණ කියු දේ අදටත් මා හට පුරුද්දක් ලෙසට සිහි වන්නේ නුගේගොඩ ගුවන් පාලමෙන් එගොඩට යන්නට බස් රථය මංතීරු මාරු කරන මොහොතේ වීම පුදුමයකි. එහෙත් මා ඔහු එකල කට කෙලවරක බුලත් හපයක් සමග කිවු මෙවැනි දෑ අමතක කොට දැමූ නමුත් ඔහු පැවසූ මේ වචන ටික පමණක් මාගේ යටි හිතේ නුගේගොඩ ගුවන් පාලම් මං තීරු මාරු කරන විට පමණක් සිහිකැද වීමට  අදාල දෑ සහිත කුටියේ තැන්පත් කොට ඇති බව මා සිතමි. මං තීරු මාරු කිරීමේදී පසුපසින් වාහන පැමිණේද බෑලිම, දකුණට සිග්නල් ලයිට් දැමීම වැනි දෑ සමග ලොකු අයියා කියපු දේ මතක් කරපං වැනි විධානාත්මක හඩක් මාගේ යටි සිතින් දෙනවා වන්නට ඇතිය.

ලොකු අයියා සමග මාගේ තිබුණේ එතරම් තද බැදීමක් නොවේ. එකල හැම විටම මා සමග ඔහු සමීප වන්නට තැත් දැරුවත් මා එතරම් ඔහුට ළං නොවුනේ මන්ද යන්න මා හට එතරම් පැහැදිලි නැතිය. මා සහ ඔහු අතර වයස් පරතරය වසර පහක් වූ නිසාද නැතිනම් මා උසස් පෙළ පංතියේ සිටිද්දී ඔහු විශ්ව විද්‍යාල වරම් ලබා රජරට ට පිටත් වූ නිසාද යන්න මා තවමත් සොයා සිටිමි. එහිදී ඔහු දේශපාලනයේ ගොදුරක්ව සිරගත වීම් වලට ලක් වූවකු ලෙස හංවඩු ගැසුණු නමුත් සිය උපාධි ලැබීමෙන් අනතුරුව නැවත ගමට ගොස් තාත්තාගේ කුඹුරු වැඩ වලට අත ගැසූ සුළුතරය්යෙන් එකෙකු වන්නට අයියා කටයුතු කලේ මන්ද යන්න ද මා හට පුදුමය ගෙන දෙන කාරණයකි.

බස් රථය වේගයෙන් කිරුලපන පසු කලේ මා සේවා ස්ථානයට ළං කරමිනි. තවත් කොටුවට මිනිත්තු පහලොවකින් විස්සකින් ළගා විය හැකිය. කොන්දොස්තර "කිරුලපන බහින්න"යැයි කෑ ගසන අතර වාරයේ මා පසුකර ඇදී ගිය විසල් මෝටර් රථය මා නැවතත් ලොකුඅ යියාගේ මතකයට ඇද දමන්නට සමත් විය.

මීට වසර තුන හතරකට පෙර ලොකු අයියා නිවාඩුවට ගමට පැමිණියේ අලුත් ආරංචියක් රැගෙනය. ඔහුගේ පෙම්වතිය පිළිබද  අම්මාට කියා විශ්ව විද්යාලයේ අටයුතු අවසන් වූ පසු ඔහුගේ පෙම්වතියට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔහු කැමති බව අම්මාට කෙලින්ම පැවසීම ඔහුගේ අලුත්ම වීරකම වී තිබුණි. කෙසේ වෙතත් අම්මා මේ පිළිබදව දැක් වූයේ එතරම් සුබවාදී ආකල්පයක් නොවේ.

"නෑ නෑ අම්මේ, ඒ ළමය හොද කෙනෙක්, මන් කරන රස්සාවෙන් එයාට වැඩක් නෑ"
"රස්සාව නෙවෙයි ලොකු පුතා, අපේ තත්වෙ ගැන ඔයා දන්නව නේ. මල්ලිගෙ ඉගෙනීම තාම ඉවරත් නෑ. අපි කුඹුරු වැඩ කරල ජීවත් උන උඹලට මහන්සියෙන් උගන්නපු මිනිස්සු. එහෙව් එකේ කොළඹ ම්හතැන්ලා කැමති වේද අපිට දූලා දෙන්න."

අයියා මදක් පසුබට වූ බව සැබැවි. එහෙත් ඔහු නැවත මෙසේ කීවේ යම් වීර්යක් වඩවාගෙනය.

"අම්මේ, හෙට හංසි මෙහෙ එනවා. එයාගෙ අම්මා එක්ක. මගුල් කතා කරගන්න නෙවෙයි. නිකමට"

"මොකක්?"

අම්මා තුශ්නිම්භූත වූවා අසා සිටි මට ශබ්දයෙන් තේරුම්ගත හැකි විය. 

එදා හංසි අක්කා අපේ ගෙදර පැමිණීම නිමිත්තෙන් සුළු සංග්‍රහයක් සූදානම් විය. ඈ පැමිණියේ තමන් විසින්ම පදවාගෙන ආ සුවිසල් මෝටර් රථයකය. දුටුවන් වශී කරන රූ සපුවක් තිබූ ඈ සියුමැලි කෙල්ලක යන හැගීම මට පහළ වුවද මංගල උත්සවයෙන් පසු ගොවිතැන් කරන අයියා සමග ඈ විශ්ව විද්යාලයේදී ඇති කොටගත් බැදීම නොවෙනස්ව එලෙසම පවත්වාගෙන යන්නට සමත් වූ අතර  පළපුරුදු ගෙවිලියක් මෙන් සියලු බැදීම් අත්හැර අයියා වෙනුවෙන් කැප වන්නට පටන් ගත්තාය. අයියා ගැන මා ආඩම්බර වූ එකම අවස්ථාව නම් නෑනා අපේ ගෙදරට කැන්දාගෙන ඒම බව මා පවසන්නේ නොපැකිලවය.

බස් රථය එක්වරම යම් වල ගොඩැල්ලක වැටුනු අතර මා වාඩි වී සිටි අසුන බොහෝ සෙයින් පැද්දීම නිසා මා ඉදිරිපස අසුන අල්ලා ගත්තෙමි.

"බලන්න මහත්තයා, මේ ආණ්ඩුව කිසි දෙයක් කරන්නේ නෑ ගසාකෑම විතරයි. මේ කොළඹ අගනගරෙ පාරවල් මෙහෙම නම් ගම් වල පාරවල් කොහොම වෙන්න ඇතිද? කාලකන්නි"

මට එහා අසුනෙහි වූ පුද්ගලයා පැවසුවේ මා දෙස බලා කරන කන්නලව්වක ආකාරයෙනි. ඔහු උදෑසනම කොටුවෙන් බඩු ගේන්නට යන ප්‍රාදේශීය වෙළෙන්දකු ලෙස මට හැගුණ අතර මා සිනහ වී,

"ඒක නේන්නම්"
 කියා එම සංවාදය හමාර කලෙමි.

යලිත් වරක් අතීතය වෙත දිව යන සිත මා හට වැළැක්විය නොහැක. මෙදා නම් අප ගමේ සුන්දර ගහ කොල අතර දුවන්නට මා සිතට අවශ්‍යය නොවූ අතර එය වහා දිව ගියේ කොළඹ උද්ගෝශණ මර්මස්ථානය වූ ලිප්ටන් වටරවුමටයි. ලොකු අයියා මෙගාපෝනය එක් අතකින් අල්ලාගෙන අනෙක් අතෙහි දබරැගිල්ල උලුක් කොටගෙන විශ්ව විද්‍යාල ශිශ්‍යයන් කීප දෙනෙකු වටකොට සිටි උස් බංකුවක් මත නැග සිටී.

"කිසිමදාක කිසිම රජයකට බෑ මේ නගින මුහුදෙ රළපෙළක් වගේ එන ශිශ්‍ය ව්‍යාපාරෙ අපේ රැල්ල නවත්තන්න. අපේ හාමුදුරුවනේ, නංගියේ මල්ලියේ ලෝකෙ තියෙන්නෙ ජාති දෙකයි, හොද සහ නරක. නරක එකා හැමදාමත හොද එකාට කරන්නේ නරක දේ. ඒත් හොද එකා එක නරකක් කලොත් ඌත් වැටෙන්නේ නරක එකා ගානට. අන්න ඒ වගෙයි අපි කරන දේ. උඹලට, උඹලගෙන් පස්සෙ විශ්ව විද්‍යාල වල ඉගෙනගන්ඩ එන නිදහස් අධ්‍යාපනෙන් පිපිච්ච ඒ මල් තැලිල පොඩිවෙලා යන්න නොදී ඉස්සරහටත් රැක ගන්නයි අපි මේ සටන කරන්නේ. උඹලගෙන් පස්සෙ පරම්පරාවෙ එවුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය ආණ්ඩුවෙන් උදුරගන්න එක වළක්වන්නයි අපි මේ අරගලේ කරන්නෙ.මෙතන කදුලු ගැඑස් කාපු උඹටවත් මටවත් සත පහක දෙයක් ලැබෙන්නේ නෑ මේ අරගලෙන්. මේකෙ ඵල නෙලා ගත්ත උන් දවසක අපි මේ කරන දේ වෙනුවෙන් සහුටු වේවි. අපේ කැම්පස් ඇතුලෙ දේශපාලනේට ඉඩ දිල අපේ කැම්පස් වල මුදල් අයකරල රජය මේ ගෙනියන උපාධි කඩ සිස්ටම් එක වෙනස් කරනකම් අපි රැල්ලක් පස්සෙ රැල්ලක් එන මහ මුහුද වගේ දිගටම ඉස්සරහට එනව. මම නැති උනොත් මගේ තැන ගන්න උඹල සිය දහස් ගානක් ඉන්න බව මං දන්නවා. අරගලයට ජය"

එකල කොණ්ඩය කපා නැති රැවුල කපා නැති ඔහුගේ හඩට සිය දහස් දෙනා අවනත වූ අපූරුව, අසංක කොඩිතුවක්කු, අන්තර් විශ්ව විද්‍යාලීය ශිශ්‍ය බල මණ්ඩලේ ලේකම්. එකල ඔහු දැක්වූ එඩිතරකම සම්බන්දව මා පැහැදුනෙමි. ඇත්තටම ඔහු කලේ සේවයක්ද?

මා බස් රථයෙන් බැස්සෙමි. කොළඹ කොටුවේ මා රාජකාරි කරනා ස්ථානයට පයින්ම ගියෙමි. බෝඩිං කාමරය තුල තට්ට තනියම ඉන්නට වඩා රාජකාරි බහුල සේවා ස්ථානය තුල සිටීමට මා හැමවිටම ප්‍රිය කලෙමි. ලොකු අයියා ගැන මේ තරම් මා හට මතක් වන්නේ ඇයි. වෙන උන් තම අයියා සම්බන්දව දක්වන අසීමිත සහෝදරත්වය මා හට දෙන්නට නොහැකි ඇයි?
දහසක් දෙනා ආදරය කල ශිෂ්‍ය නියෝජිතයා වෙත මා අකැමති ඇයි?
හංසි අක්කා සිය ලස්සන ජීවිතය හැරදා පරාජිත ගොවියෙක්ව තෝරාගන්නට තරම් අයියාට ආදරේ ඇයි?

නිරුත්තරය. මා ඒ ප්‍රශ්න තුනටම නිරුත්තරය. 
මා අයියාට අකැමති ඌ මා වැන්නන් විශ්ව විද්‍යාල යවන්නට දැගලූ නිසාද?
මා ඔහු හා කතා කල යුතුයැයි මට හැගෙතත් මා එය කෙසේ කරම්ද? 

සේවා ස්ථානයේ මා සිටිනා මේසය මත තිබූ දුරකථනය මා අතට ගත්තෙමි. ලොකු අයියාට ජංගම දුරකථනයක් නැත. මා හංසි අක්කාට ඇමතුවෙමි. 

"අක්කේ, අයිය ඉන්නවද? පොඩ්ඩක් දෙන්නකො"

"මල්ලි, අපි කොළඹ අපේ ගෙදර ඉන්නෙ, අයිය නම් එලියට ගියා, අපි ඊයෙ උදේ මගෙ කාරෙකේ ආව"

"නොකියම මොකද මෙහෙ?"

මා තුල සියුම් බියක් ඇති වූයේ අයියාට හෝ අම්මාට යම් අසනීපයක් වත් ඇතිවී කොළඹ ආවාදැයි යම් අංශු මාත්‍රික හැගීමක් හිතට පැමිණිම නිසාවෙනි. එහෙත්? මදක් ඉන්න, මා අයියා ගැන සහෝදරත්වයෙන් සිතුවෙම්ද? නැතිනම් ඔහු හට කුමක් වුවත් මා හට කුමද?

"නෑ මල්ලි නෑ, ඇයි අමතකද හෙට උපන්දිනේ කියල? අයිය ඊයෙ කිව්ව මල්ලිව කාලෙකින් දැක්කෙ නෑ ඒ නිසා කොළඹ යන් මිනිහට කියන්න ඕන නෑ කියල. දැන් ඔය ගියේ මල්ලිට මොනා හරි අරන් එන්න උපන්දිනේට, මල්ලි හෙට හව්ස් වෙලා මේ පැත්තෙ එන්න"

මාගේ දෑත යම්තාක් දුරකට වෙව්ලනා බව මට දැනුනි. මා නොකියාම දුරකථනය තිබ්බේ ඒ නිසාවෙනි. නෙලුම් කුළුණ ඈතින් පෙනෙයි. එය නගරයේ දුම් වළා අතරින් හිරු එලිය පරාවර්ථනය කරමින් නැගී සිටින්නේ කොපමණ බාධක පැමිණියද මා නොවැටෙමියි සිතන අධිශ්ඨානශීලී පුද්ගලයකි සිහි ගන්වමිනි. දූවිල්ල සහ බලුකම අතරේ එවන් උසස් වස්තුවක් තිබීම සහ වසර විසි පහක් මාගේ ජීවිත කාලය තුලදී එක් වරෙකවත් සුබ උපන්දිනයක් නොපැතූ අයියා මෙවර මා බලන්නට කොළඹ පැමිනීම පුදුම එළවනසුළු කාරණයක් බව මා දනිමි.

මම එදින හවස එනම් අප මේ කථා කරන්නා වූ දිනයට පසු දින මාගේ උපන්දින සැමරීම ව්ස් අක්කාගේ මහ ගෙදරට එනම් අයියා මා හට එන්නැයි කියූ තැනට පැමිණියෙමි. ආ දෙදෙනා  මූණට මූණ බලන් ඉන්නේ ඇයිදැයි ඇසූ අක්කා කෑම ලෑස්ති කරන අතරේ මා අයියාගෙන් මා සතුව තිබූ කැකැරෙන ප්‍රශ්නය වීර්ය  වඩවා ඇසුවෙමි. 

"අයියේ? මොකක්ද මේ කරන්නෙ?"

" උඹට අවුරුදු තිහක් තිස්සේ කරන්න බැරි උන දේ බං, වරෙන් එලියට යන්. සිගරට් ඒක් බොන්න"

මා ඔහු පස්සේ ගියෙමි. අක්කාඒ වත්තේ ඕනැ තරම් ඉඩ කඩ තිබූ නිසාවෙන් මා සහ අයියා වත්ත කෙලවරට ගොස් එහි වූ අසුනක වාඩි ගත්තෙමු. අඉයා සාකුවෙන් සිඅරට් පැකට්ටුව රැගෙන ඔහුඒ ලයිටරයෙන් එය දල්වා ගත්තේ ඔහු තුල වසර දහයකට අධික සිගරට් ඉරීමේ දැනුම ප්‍රදර්ශණය කරමිනි.

"ඉතින්?"

ඔහු ඇසුවේ ඔහු සතුව ඇති කාරුණික දෑසින් මා දෙස බලමිනි. 
 "උඹට සිගරට් එකක් දෙන්න ද?"

මා සිගරටුවක් දල්වා ගතිමි. පුරුද්දක් වශයෙන් නොබොන නමුත් මේ අවස්ථාවේ අයියාට සමීප වීම මා කල යුත්තක් බැව් මගේ මනසට හැගී ගිය නිසා මා එසේ කරන්නා ඇත.

"මේකයි මල්ලි"

ලොකු අයියා දුම් උගුරක් අදිමින් මා හට පවසන්නට පටන් ගති.
"මේ අවුරුදු තිහෙන් මං සෑහෙන කාලයක් කැප කලේ මගේම එවුන් වෙනුවෙන් නෙවෙයි බං. අනුන්ගෙ එවුන් වෙනුවෙන්. මං ඒක වැරැද්දක් කියල දකින්නෙ නෑ. මං ආඩම්බර වෙනව මං හින්ද කැම්පස් ඇවිල්ල ඒකෙ ඉගෙන ගන්න පොඩි උන් දැකල"

ඔහු මාගේ කරට අතක් දා ගත්තේ, කලක සිට ඇසුරු කල මිතුරෙකු වෙත ළන් වූ හැගීමෙනි.

"උඹ මගෙම මල්ලි වෙලත් උඹට අවුරුදු විසි පහක් වෙනකම් මට උඹ වෙනුවෙන් එක පැයක කාලාක් වෙන් කරගන්න බැරි උනා, මට ඒකයි දුර. උඹට කියන්න මං ලැජ්ජා වෙන්නෙ නෑ බන් මට උඹව හැමදාම කුඹුරෙ යද්දි මතක් වෙනව. උඹ ඉස්සර කුඹුරෙ යන්න හරි ආසයි නෙව"

මා අයියා දෙස බැලුවෙමි. මා පෙරදින මතක් කොට ආඩම්බර වූ ශිෂ්ය ව්‍යාපාරයේ නායකයා මෙතැන නැත, මෙතැන ඉන්නේ හංසි අක්කා කරකාර බැදි පුද්ගලයා නොව මාගේම සහෝදරයා බව මා හට පෙනෙන්නට ගත්තේ අදය.

"අයියේ, "

 මා කීවෙමි.

"මට හැමදාම උඹව පෙනුනෙ පිට එකෙක් වගේ. මන් දන්නෙ නෑ ඇයි කියල. මට හිතුනෙ එහමයි. එඇත් මං දනව මට එහෙම හිතෙන්න් හේතුව මොකක්ද කියලත්.උඹට වඩා මං හැම මොහොතෙම කුහක උනා. මන් හිතුවෙ මං ගැන විතරයි. මට උබ නොදීපු ආදරේ කරුණාව සහෝදරකම මං සමාජෙන් බලාපොරොත්තු උනා. උන් මට දීපු ලබ්බක් නෑ අයියේ."

මා දුම් උගුරකින් පෙණහළු පුරවාගෙන හිස් අහසට නැවතත් මුදා හැරියෙමි. 

"මං උඹ නොදුන්න සහෝඅදරකමින් කුහකයෙක් උනා, උඹ අනුන්ගෙ හොද කරන්න ගිහිල්ල අවුරුදු ගනක් මල්ලිව නැති කරගත්තා. දැං මොකද කරන්නෙ?"

"දැං ඉතින් උඹටයි මටයි සහෝදරයො වෙන්න කාලෙ හරි. අන්න උබ මාම කෙනෙක් වෙන්න යන්නෙ. 

මා සතුටු උනෙමි.  

"එහෙනම් මරු. උඹ දන්නවද, හැමදාම නුගේගොඩ ගුවන් පාලම නගිද්දි බස් එක ලේන් මාරු කරනකොට මං උඹ කීව දෙයක් කල්පනා කරනවා. උඹ කිව්වා මතකද, අපිට ලෝකෙට ගොඩක් හොද කරන්නත් එපා ගොඩ්ක් නරක කරන්නත් එපා. අපි ළං කරගන්න මිනුස්සු අපිට සලකන්නෙ අපෙන් වැඩක් තියෙනක්ම් විතරයි කියල. මං ඒක හැමදාම මතක් වෙන නිසා ඒකට පින්සිද්ද වෙන්න හොදින් ඉන්නවා."

අයිය සිණාසුනේය. මහ හඩින් සිනාසුනේය. මා දෙස ඔහු බැලුවේ වියපත් මිනිසෙක් පොඩි දරුවෙකු දෙස බලන බැල්මෙනි.

"උඹට පිස්සු බං"

"උඹ දන්නවද? උඹටයි මටයි අයියයි මල්ලි වගේ ඉන්න බැරි වෙන්න එක හේතුවක් ඔන්න ඕක"

"ඒමොකද"
මා පුදුමයත් කේන්තියත් මිශ්‍ර වූ හැගීමකින් ඔහු දෙස බැලුවෙමි. 

"මං ඒ කාලෙ රැඩිකල් කොල්ලෙක් බං, උඹ දන්නවද මන් කිව්වෙ සම්පුර්ණ ඇත්ත. උඹෙන් තියන ප්‍රයෝජනේ නැහි උන ගමන් කාටවත් උඹෙන් වැඩක් නෑ. උබ් උඹව අතෑරලා වෙන එකෙක් ගාවට යනවා. ඒත් උඹ දන්නවද සමහර දේවල් එහෙම වෙන්නෙ නෑ. සමහරු උඹව දාල යන්නෙ නෑ. උඹට උන් ආදරේ කරනවා ගරු කරනවා. උඹට තනි වෙලා නෑ කියල දැනෙන්න අරිනවා. මට අරගලෙන් ලැබුන එකම දේ හංසි. මට උපතින් ලැබුන එකම දේ උඹ. මං කියපු දේ තේරුම මටවත් ඒ කාලෙ තේරුනේ නෑ."

දුම් උගුරක් පිට කරමින් ෆිල්ටරයට ආසන්න වූ දුම්වැටිය ඔහු නිවා දැම්මේය.

"මල්ලි, උඹ උඹට පුලුවන් තරම් අනුන් වෙනුවෙන් කරපන්. උඹට පස්සෙ ඉතුරු වෙන මිනිස්සු අඩු වෙයි. හැබැයි උඹට ඉතුරු වෙන්නෙ උඹව වටින එවුන් මිස උඹගෙන් දෙයක් බලාපොරොත්තු වෙන උන් නෙවෙයි."

"මල්ලි එන්න අයියත් එක්ක කෑම කන්න"

හංසි අක්කා කතා කලාය.

"යමු මල්ලි"

අයියා ඔහුගේ තෘප්තිමත් ජීවිත භාර්යාව වෙත පියනගන හැටි මා බලා උන්නෙමි.

No comments